Skip to main content

සංක්‍රාන්තිකයෝ

 අපට කුඩාකල උගන්වා ඇත්තේ මිනිසෙකු උපතින් ගැහැණු හෝ පිරිමි වන බව යි. එහෙත් සමහර පිරිමි දරුවන් කලක් ගත වන විට ගැහැණු ලක්ෂණ ද සමහර ගැහැණු දරුවන් පිරිමි ලක්ෂණ ද පෙන්වයි. මේවා ස්වභාවිකව සිදුවේ. මෙය 'වැරැද්දක්' නොවේ. සමහරු ලිංගික අවයව සැත්කමකින් වෙනස් කර ගනියි. මොවුන් පොදුවේ සංක්‍රාන්ති ලිංගිකයන් වශයෙන් හඳුන්වයි.

   ඉන්දියාවේ සියවස් ගණනාවක් පටන් පැවත ආ සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන් සමන්විත ජන කොටසක් සිටියි. නැටුම් හා සම්බන්ධ, තමන්ටම කියා සංස්කෘතියකට හිමිකම් කියන මොවුන් නමින් හිජ්‍රා වේ. ගාන්ධි මොවුන්ව හැදින්වූයේ 'දෙවියන්ගේ මිනිසුන්' කියා ය. එසේ කීවේ මොවුන්ගේ සමාජ තත්ත්වය උසස් කරලීමට යි. පසුගිය සියවසේ ලංකාව තුළ වර්ධනය වී වර්තමානය වන විට ශේෂව යන මෙවැනි සංස්කෘතියක් පවතියි. ඔවුන් 'නච්චි' ලෙස හඳුන්වයි. ලංකාවේ මොවුන්ගේ මූලය ගැන විවිධ මතයන් පවතින අතර ඉන් ප්‍රධාන වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි නර්තන කණ්ඩායම් ඇසුරෙන් හා ලිංගික වෘත්තිකයන් ඇසුරෙන් 'නච්චි' ජන කණ්ඩායම් ආරම්භ වූ බව යි. මොවුන්ටම කියා වචන දෙතුන්සීයක පමණ කුඩා වාග්මාලාවක් පවතින අතර වෙනමම උප සංස්කෘතියකට හිමිකම් කියයි. වර්තමානය වන විට දී ද නච්චි ජන කණ්ඩායමේ වැසියන් සුළු වශයෙන් සිටියි.

ඉන්දියාව සහ පකිස්තානය වැනි රටවල සමහර සංක්‍රාන්ති ලිංගිකයන් ඔවුන් ඒ තත්ත්වයට පත් වූ විට නිවෙස් වලින් පිට වී වෙනමම කණ්ඩායම් ලෙස ජීවත් වේ. ලංකාවේ ද කොළඹ අවට මේ තත්ත්වය ඉතා සුළුවට පවතියි. එය ඉන්දියාවේ හා පකිස්තානයේ තරම් සැලකිය යුතු අයුරින් විශාල ප්‍රමාණයක් නොවේ.

   යමෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් බවට පත්වන්නේ ස්වභාවිකව යි. මෙය වැරැද්දක් නොවේ. නමුත් අද සමාජයේ සිටින බොහෝ දෙනා මෙය වැරැද්දක් ලෙස දැක ඔවුන්ට දෝෂාරෝපණය කරයි. මෙය ඒ ඒ අයගේ පවුල් තුළින් ද පැන නැගේ. හොදක් කියන්න කෙනෙක් නැත. උදේ හවා මෙසේ විවිධ කෙනෙහිලිකම් වලට ඔවුන් මුහුණ දෙන නිසා බොහෝ අය සියදිවි හානි කරගන්නට උත්සහ ගනියි. දෝෂාරෝපණ පමණක් නොව මිනිසුන් ඉදිරියේ කොන් කිරීම, ලැජ්ජාවට පත් කිරීම, හා ලිංගික අතවර මොවුන් එදිනෙදා මුහුණපාන ගැටළු වේ.

රැකියා අවස්ථා ගැන කතාකරන විට මොවුන්ට සමාජයේ ඉහළ යැයි සම්මත රැකියා වලට යාමට ඇති අවස්ථා ඉතාමත් විරල ය. අධ්‍යාපනික සුදුසුකම් තිබුණ ද තමන් සංක්‍රාන්ති ලිංගිකයෙක් ලෙස දැනගත් විට බොහෝ අය රැකියා අවස්ථාවක් ලබා දීමට මැලි වේ. එමනිසා කුඩා කුඩා රැකියා වලින් යැපීමට ඔවුනට සිදුවේ. ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ වෘත්තීන්ට සමහර සංක්‍රාන්ති ලිංගිකයන් යොමු කරවන්නේ ද මේ හේතුවම යි.

    මොවුන් සම්බන්ධව නීති කරුණු කිහිපයක් පවතියි. ඉන් ප්‍රධාන එකක් වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය යටතේ එන වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම යි. සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව මෙම නීතිය බොහෝ අවස්ථා වල දී වැරදි ලෙස භාවිතා වේ. මෙම නීතියේ අන් අයෙකු ලෙස පෙනී සිටීම හරිහැටි විස්තර කර නොමැති නිසා සංක්‍රාන්ති ලිංගිකයන් මේ නිසා දඬුවම් විඳියි. එම නිසා මෙම නීතිය වෙනස් කර යමෙක් අනන්‍යතාව සඟවන්නේ කුමන චේතනාවෙන් ද යන වග සොයා බලා දඩුවම් කිරීම සිදුකළ යුතු යි.

මෙවැනි තවත් නීතියක් නම් අයාලේ යාමේ ආඥා පනත යි. මේ සදහා ඉතා කුඩා දඩයක් පමණක් හිමි වුවත් මෙය යොදාගෙන පාරේ සිටින සංක්‍රාන්ති ලිංගිකයන්ට පොලීසිය විසින් දඩුවම් කරනු ලැබූ අවස්ථා එමට යි. පොලීසියට ඔවුන්ව ගෙනැවිත් ඔවුන්ගෙන් විනෝද වූ අවස්ථා ද එලෙසම තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තියේ සදහන් අස්වාභාවික ලිංගික හැසිරීම් සම්බන්ධ නීතිය ද මොවුන්ට විරුද්ධව බොහෝ විට යොදා ගනියි. මෙම නීතියේ ද අස්වාභාවික ලිංගික හැසිරීම හරිහැටි හඳුන්වා නැති අතර මෙය බ්‍රිතාන්‍යයන් විසින් තම යටත්විජිත වලට හඳුන්වා දුන් නීතියකි. 1995 වන තෙක් මෙම නීතිය යටතේ දඬුවම් දුන්නේ පුරුෂයින්ගේ සමලිංගික ක්‍රියාකාරකම් සදහා පමණි. නමුත් එම නීතිය සංශෝධනයට පසුව යෝජනා වූ අතර, එහි ප්‍රතිඵලය වූයේ ගැහැණුන්ගේ සමලිංගික ක්‍රියාකාරකම් සඳහා ද මේ යටතේ දඩුවම් දීමට හැකියාව ලැබීම යි. මෙම නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් වලට ද දඩුවම් ලබා දේ.

   අනන්‍යතාව ගැන කතාකරන විට අප සියලු දෙනාටම හැඳුනුම්පතක් හා උප්පැන්න සහතිකයක් තිබේ. මානව හිමිකම් කොමිසමට අනුව පසුගිය වසරේ දී ලාංකික සංක්‍රාන්ති ලිංගිකයන්ට හැඳුනුම්පතක් හා උප්පැන්න සහතිකයක් දීමට කටයුතු කරනු ලැබුණි. මේ සඳහා ඔවුන් මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය ලබාගත යුතු වන අතර ඉන් වසර එකහමාරකට පමණ අධ්‍යයන කාලයකට පසු හැඳුනුම්පත හිමිවේ. ලංකාවේ මෙවැනි අනන්‍යතාවයක් ලබා ගැනීම උදෙසා සංක්‍රාන්ති ලිංගිකයන් උද්ඝෝෂණ හෝ ඉල්ලීම් කළේ නැත. මන්ද එවිට තම අනන්‍යතාව සඟවාගෙන සිටින සමහර සංක්‍රාන්ති ලිංගිකයන් මේ නිසා සමාජයේ දැඩි පීඩනයකට ලක්වන නිසාය. කෙසේ නමුත් මෙය ඔවුන්ගේ අයිතියකි.

   පවුල් සංස්ථාව ඔස්සේ සිදුවන බලපෑම සේම සමාජය ඉදිරියට පැමිණීමේ ආත්මශක්තිය හීන වීම යනාදී හේතු සාධක නිසා හෘද සාක්ෂියට පමණක් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස සීමා වූ ප්‍රජාවක් ද ජීවත් වෙති. විවිධ හේතු නිසා තම ලිංගික අනන්‍යතාව හෙළි නොකරන මොවුහු මුළු ජීවිත කාලයම විඳවමින් ජීවත් වෙති.

 සංක්‍රාන්තික ලිංගිකයන් නිසා ලිංගික රෝග වැඩිවීමේ ප්‍රතිශතය ඉහළ ගිය බව මෑත කාලයේ කරළියට පැමිණි ප්‍රධාන මාතෘකාවකි. ඔවුන්ට HIV ලේබලය ඇලවීම පහසු කටයුත්තක් වුව ද එම HIV ලේබලය පිටුපස ඇති සමාජ යථාර්ථය කිසිවකුගේ ඇස නොගැටේ. පාට කණ්ණාඩි පැලඳ ලෝකය දෙස බලන අයගේ උකුසු ඇසට හසුවන්නේ ඔවුන්ගේ වැරදි චර්යා රටා පමණක් වුව ද අනෙක් ප්‍රජාවට හිමි සියලු අයිතිවාසිකම් ඔවුන්ට ද හිමි විය යුතු බව අවිවාදිත කරුණකි.

සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ දී ද උලුප්පා පෙන්වනු ලබන මාතෘකාව වන්නේ ලිංගිකත්වයයි. ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව ලිංගිකත්වය හා පෞද්ගලිකත්වය කුණු කොල්ලයට විකුණන මානසික තත්ත්වයකට වත්මන් ජනමාධ්‍යවේදීන් පත්ව තිබීම කණගාටුවට කරුණකි.

  මේ විසි එක්වන සියවසයි. සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ගැඹුරින් කතා කළ යුතු හා ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා කතා කළ යුතු කාලයකි මේ. නමුත් ඊට පෙර මොවුන් පිළිබඳ අද ලාංකික සමාජයේ ඇති ආකල්ප ශෝධනයකට ලක් විය යුතු වේ. එවිට සංක්‍රාන්ති ලිංගිකයින්ට මිනිසුන් ලෙස සලකන කාලයක් උදාවනු ඇත.

 










Comments

  1. බොහෝ අය නොදකින නොදන්න රාමුවක් ගැන ලියූ ඔබට තුති

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව