අධි රුධිර පීඩනය

   රුධිර පීඩනය යනු හදවත මගින් ඇති කරන බලයයි. අධි රුධිර පීඩනය යනු රුධිර පීඩනය දිගින් දිගටම 140/190 යන අගය ඉක්මවා පැවතීමයි. මෙය ඉතාමත් භයානක රෝගි තත්වයකි. ලංකාවේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයකුට නැතිනම් සමස්ත ජනගහනයෙන් 20% ට මෙය ඇති බව හදුනා ගෙන ඇත. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ මෙම රෝගින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීමයි.එසේම 90%ගේම රෝගයට හේතු සොයා ගත නොහැක. 

    මෙය ඇති වීමට හේතු කීපයක් දක්වා ඇත. ඖෂධ වර්ග , වකුගඩු ආශ්‍රිත රෝග , හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් , පරම්පරානුගතව , තරබාරුකම , වැඩිපුර ලුණු කෑම , පොටෑසියම් - කැල්සියම් සහා මැග්නීසියම් ලවණ අඩු වීම , ව්‍යායාම නොකිරීම වැනි දෑ පෙන්වා දිය හැක. 

     මෙහිදි දක්නට ලැබෙන රෝග ලක්ෂණ කීපයක් පෙන්වා දිය හැක. නිතර නිතර ඇතිවන හිසරදය , කැරකැවිල්ල , හුස්ම ගැනීමේ අපහසුව, මහන්සි වන විට පපුවේ කැක්කුම , පෙනීමෙහි අපහැදිලි බව, නාසයෙන් ලේ ගැලීම , අධික තෙහෙට්ටුව , වරින්වර ඇති වන අතපය පණ නැති වීම ආදියයි.

    එසේම අධි රුධිර පීඩනය පාලනය නොකලහොත් සංකූලතා ද ඇති විය හැක. හෘදයාබාධ , අංශභාගය , අන්ධභාවය , වකුගඩු අකර්මණ්‍ය වීම ප්‍රධාන ලෙස පෙන්වා දිය හැක.

    සෑම අයකුම වසර 40 ඉක්ම වූ පසු වසරකට වතාවක් තම රුධිර පීඩනය මැන බලා ගැනීම වැදගත් වේ.

    මෙය වැළදුනු අයකු දිනපතා නිසි මාත්‍රාවට ඖෂධ ලබා ගත යුතු අතර එය හිතුමනාපයට නොකළ යුතුය.එමෙන්ම ලුණු භාවිතය අවම කළ යුතු අතර පලතුරු , එළවළු වැඩියෙන් ගත යුතුය , අඩුම තරමින් සතියට දින තුනක් පැය භාගයක්වත් ව්‍යායාම කළ යුතුය, දුම් පානය , මත්පැන් භාවිතය අවම කිරීම , හරක්,  මස් ඌරු මස් වැනි මේද අධික ආහාර නොගැනීම , ශරීර බර අඩු කර ගැනීම , උසට සරිලන බරක් පවත්වා ගැනීම වැනි දෑ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ.

    වෛද්‍යවරයකු හමු වීමට යාමේදී ප්‍රෙෂර් පෙති අරගෙන යාම වැදගත් ය, එමෙන්ම පැයකට පෙර කිසිම දුම් වැටියක් භාවිත නොකිරීම , ආහාර ගෙන පැය 3ක් යාමට පෙර පරීක්ෂා කර ගැනීම , දින 3ට පෙර මත්පැන් භාවිතය නැවතීම , මනස කලබල හා අවිවේකී මොහොතක් නොවීම , වේගයෙන් ඇවිදමින් හෝ දුවමින් වෛද්‍යවරයා වෙත නොයෑම  වැනි දෑ අනුගමනය කිරීම වැදගත් වේ.

    තමාගේ රුධිර පීඩන තත්වය මත ඖෂධ නියම කර ඇති අතර අනෙක් අය සමග තමාගේ ඖෂධ සැසඳීමට නොයන්න. ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයේ පැවතියත් ඖෂධ දිගින් දිගටම ලබා ගත යුතුය. වෛද්‍ය උපදෙස් මත පමණක් එය නතර කළ යුතුය.කිසිවිටෙකත් එකවර මාත්‍රා දෙකක් නොගත යුතුය. ඇතැමුන්ට මුලු ජීවිත කාලයටම ඖෂධ ලබා ගැනීමට සිදු වේ. කෙසේ වෙනත් නියමිත මාත්‍රාවට අනුකූලව ප්‍රතිකාර ලබා ගෙන ප්‍රවේසම්සහගතව දිවි ගෙවුවහොත් මෙය පාලනය කර ගැනීම අපහසු නොවේ.



Comments

  1. වැදගත් ලිපියක් 😍

    ReplyDelete
  2. ගොඩාක් වැදගත් ඒක😍

    ReplyDelete
  3. දැනුමට යමක් එක කරාට ස්තූතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව