කාන්තා හිංසනය

   ලෝකයේ කොතරම් කාන්තා හිංසනය පිළිබඳ කතා  කළත්  21 වන සියවසේදීත් එය අඩු  නොවී තවත් වැඩි වීමට හේතුව පුදුමයට කරුණකි. 'කාන්තාවක් ඇගේ කැමැත්තකින් තොරව වැළද ගැනීම ,හේත්තු වීම ,තට්ටු දැමීම ,මිරිකීම ,කෙනිත්තීම වුව ද දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව ලිංගික හිරිහැරයකි.එමෙන්ම බරපතල වැඩ සහිතව හෝ රහිතව වසර 5ක් සිර ගත කළ හැක. ඒ අප්‍රසාදජනක සමීප වීම කියන කරුණ යටතේ.       පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවන්ට අනුව 30%-40% අතර ලාංකීය කාන්තාවන් කුමන අන්දමේ හෝ ප්‍රචණ්ඩත්වයකින් පීඩා විදින බවත් ලංකාව පුරාම කාන්තාවන්ගෙන් 60%ක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට යට වී සිටින බවත් සදහන් කරයි.ඊට අමතරව ලෝකයේ කාන්තාවන් 1/3ක් ශාරීරික හෝ ලිංගික හිංසනයටත් මිලියන 750ක් අවුරුදු 18ට පෙර විවාහ වන බවත් හෙළි වී ඇත.                                   එසේම ආසියා කලාපයේ තරුණයන් සිටින පොදු ස්ථාන වල 40%ක් තරුණියන් හිංසනයට ලක් වන අතර මැද පෙරදිග කාන්තාවන් 80%ක් පමණ ද ,65%ක් ඇමරිකාවේ වීදි වලදී ද ,බ්‍රිතාන්‍යයේ 64%ක් වීදි ආශ්‍රිතව ද ,ඕස්ට්‍රේලියාවේ වීදි වලදී 67%ක් ද වශයෙන් කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක් වේ.                කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය එක් රටකට හෝ කලාපයකට සීමා නොවී ලෝකය පුරා සිදුවන අකටයුක්තක් බව මෙතුලින් පෙනී යයි. එසේම විවිධ සමාජ ,දේශපාලන ,ආර්ථික,සංස්කෘතික ,ආගමික ,ග්‍රෝතික හා වාර්ගික පුරුදු මත බොහෝවිට කාන්තාවන්ට මෙය වෙනස් ආකාරයෙන් බලපෑම් ඇති කරනු ලබයි.                                            එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2015දී ලබා ගත් දත්ත වලට අනුව ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් ලිංගික අතවර වලට ලක් වේ.මේ පිළිබඳව ක්‍රියාත්මක විය යුතු නීති පිළිබඳ පැහැදිලිතාවක් නොමැති වීම අපගේ අවාසනාවකි.                                                                  මෙවැනි දෑ සිදු වන ස්ථාන ලෙස නිවස,පවුල තුළ ,ජන සමූහ ,වැඩපොළ හා සේවා ස්ථාන ,පොදු ගොඩනැගිලි ,ගමනාගමනය කරන වාහන ,බස් නැවතුම්පොළ ,මගී සේවා ස්ථාන පෙන්වා දිය හැකි අතර ස්වාභාවික ව්‍යසන,රටවල් අභ්‍යන්තර අවුල් වියවුල් හා ගැටුම් ,යුද්ධ හෝ පොදු කලකෝලාහල ආදි අවස්තා හා අභ්‍යන්තර අවතැන් වීම් බහුල වන අවස්තා වලදී කාන්තාවන් මෙලෙස හිංසනයට නතු විය හැක.                                                                වියානා සම්මුතියේ දෙවන වගන්තියට අනුව ස්ත්‍ර් ප්‍රචණ්ඩත්වය යනු පහර දීම ,නිවසේ ගැහැණු දරුවන් අපයෝජනය කිරීම ,දෑවැදි සම්බන්ධ ප්‍රචණ්ඩත්වය වෛවාහක ලිංගික අතවර,ස්ත්‍රී ලිංග අවයව ජේදනය හා කාන්තාවන්ට හානිකර එවැනි සම්ප්‍රදායික සිරිත් ,සැමියා නොවන අයගෙන් සිදුවන හිංසනය ,සූරාකෑම ආදිය පවුල තුළ දී හෝ අධ්‍යාපනික ආයතනයකදී හෝ වෙනත් ස්ථානයක දී සිදුවන ශාරීරික ,ලිංගික හා මානසික අතවර ,ලිංගික අපයෝජනය ,සේවා ස්ථානයක දී සිදුවන ලිංගික අතවර ,බිය වැද්දීම් ,නීති විරෝධී ලෙස ස්ත්‍රීන් ප්‍රවාහනය හා බලයෙන් ගණිකා සේවයේ යෙදවීම ඇතුලත් වූ සාමාන්‍ය ප්‍රජාව තුළ දී සිදුවන ශාරීරික ,ලිංගික හා මානසික හිංසනයන් බවයි.                                                           එසේම ගැහැණු ළදරු ඝාතන ,බාලවයස්කාර විවාහ කිරීම් මෙන්ම අකමැත්තෙන් ජායාරූප ගැනීම ආදිය ද කාන්තා හිංසනය වේ.මීට අමතරව පුලුල්ව කතා කලහොත් කාන්තා හිංසනය සිදුවන ආකාර කීපයක් ඇත.                      ශාරීරික හිංසනය යනු ශාරීරික පීඩා ,තුවාල ,මරණය ,කම්මුලට ගැසීම ,සිරුරට පහර දීම ,අත් ඇඹරීම ,පිහියෙන් ඇනීම ,ගෙළ මිරිකීම ,පිළිස්සීම ,උගුර හිර කිරීම ,පයින් ගැසීම ,යම් වස්තුවකින් හෝ ආයුධයකින් පහර දීම ,තර්ජනය කිරීම ,ගැසීම ,තල්ලු කිරීම වැනි දෑ පෙන්වා දිය හැක.                                                           එමෙන්ම වාචික හිංසනය යනු අයුතු ලෙස බලය පෙන්වීම,හිරිහැර කිරීම ,කෑ ගැසීම ,බැණ වැදීම ,මදි පුංචිකම් කිරීම ආදියයි.මෙය ප්‍රබල හිංසනයකි.                                                                       මානසික හිංසනය ද කාන්තා හිංසනයේ කොටසකි.නිතර බැණ වැදීම ,තර්ජනය කිරීම ,මදි පුංචිකම් කීම හෝ කිරීම ,කෑ ගැසීම ,නිවසටම හිර කර තැබීම ,අතහැර දැමීම ,අපයෝජනය කරන බවට තර්ජනය කිරීම ,බඩුබාහිරාදිය කඩා විනාශ කිරීම ,තනි කිරීම ,කොන් කිරීම හෝ හෙළා දැකීම මෙයට අයත් වන අතර මෙය ඉතා දරුණු හිංසනයක් ලෙස පෙන්වා දිය හැක මන්ද මෙය මානසිකව සිදු කරන නිසාවෙනි.එහිදි භයානක ප්‍රතිඵලයන්ට ද මුහුණ දීමට සිද්ධ වේ.                                                    මූල්‍ය සම්පත් ඉපැයීමට ,ලාභ ලැබීමට ,භුක්ති විදීමට නොදී අහිමි කිරීම ,ගෙදර දොරේ හෝ පෞද්ගලික වියදම් නොදීම ,ආහාර පාන හා අනෙකුත් පහසුකම් නොසැපයීම,රැකියාවක් කිරීමට නොදීම ආදිය ආර්ථික හිංසනය ලෙස පෙන්වා දිය හැක.                                                          සමාජයේ බහුලව දක්නට ලැබෙනුයේ ලිංගික හිංසනයයි.මෙහිදි බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවන් සිදු කිරීම හෝ තැත් කිරීම ,තර්ජනය ,බිය ගැන්වීම ,අතවර කිරීම ,ලිංගික සංසර්ඝයේ යෙදීම ,ව්‍යභිචාරය,අරිසි ලිංගික කාර්යයන් බලෙන් කිරීම ,ලිංගික සංසර්ඝයේ යෙදීමට බල කිරීම හා අවයව පෙන්වීම ආදිය මේ යටතට ගත හැක.                                                                        තාක්ෂණය දියුණු වීමත් සමග කාන්තා හිංසනය තවත් මානයකට යොමු වී ඇත.එනම් ජංගම දුරකථන , අන්තර්ජාලය හා සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සිදු කරන හිංසනයයි.කාමෝද්දීපන රූප ,චිත්‍ර හා ප්‍රබන්ධ යැවීම ,රහසින් කාන්තාවන් පසුපස යාම,කාන්තාවන්ගේ හෝ ගැහැණු ළමුන්ගේ ජායාරූප අනවසරයෙන් ජාල ගත කිරීම හා ජංගම දුරකථන වලට බහාලීම,තර්ජන එල්ල කිරීම ආදිය අද වන විට බහුලව සිදු වන බව දක්නට ලැබේ.                                                                 මෙලෙස හිංසනයට බදුන් වන කාන්තාවන් සරණක් සොයා විවිධ ආයතන වලට ගිය පසු තවත් අසරණ වේ.එහිදී ද වැරැද්ද පටවණු ලබන්නේ කාන්තාව දෙසටය.එවැනි දෑ සිසිදුවූයේ ඇයගේ ඇදුම හා හැසිරීම නිසා බවත් එවැනි දෑ විහිලුවට සිදු කලා යැයි සිතා එය පිරිමින්ගේ ස්වභාවය යැයි කියා එවැනි හිංසනයන් ගණන් නොගෙන සිටින ලෙස කියා කාන්තාව තවත් අසරණ කරයි.                                   මේ සදහා අප කළ යුත්තේ පළමුව මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදු කිරීමයි.විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කාන්තාවන් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර තිබේ.එවැනි දෑ නොකළ යුතුය.එමෙන්ම මෙවැනි සමාජ කරුණු අධ්‍යාපන ක්‍රමයට ඇතුලත් කර කුඩා කල සිටම ඒවාට යොමු නොවීමට මනස නිර්මාණය කළ යුතුය.                     කාන්තාවන්ට ගරු කරමින් ඇයගේ පෞරුෂත්වයට හානි නොවන ලෙස කටයුතු කිරීමට සමාජය සකස් කළ යුතුය.කෙතරම් ආයතන ,සම්මුතීන්,නීති තිබුණත් අදටත් සමාජය තුළ මෙම ගැටලුව බහුලව දක්නට ලැබේ.බොහෝදෙනා තමාට හිංසනයක් වූ බව පැවසීමට මැළි වේ.එය ලැජ්ජාවට කාරණාවක් සේ සලකයි.එතුලින් සිදු වන්නේ තව තවත් මෙවැනි ක්‍රියා දිගටම සිදු වීමයි.කාන්තා දිනයට පමණක් මේවා කතා නොකර මේ පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගීය යුතුය.එනිසා සැවොම එක්ව කාන්තා හිංසනය පිටු දැකීමට පෙළ ගැසෙමු.                                                                                                                                                     



Comments

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව